මං ඇවිල්ලා සංගීත විසාරදයෙක්වත් විචාරකයෙක්වත් නොවේ ය. හැබැයි ඊයේ විහාරමහාදේවියේ තිබ්බ වායෝ "වීණාවී" ප්‍රසංගය බැලූ වෙලේ ඉඳං කට (අත) කහන්ට පටන් ගත් හෙයින් වචන කිහිපයක් කොටා දාන්ට සිතුණේ ය.
—
"සංගීත"ය පුංචි සන්දියෙ ඉඳන් අහලා තිබුණට, ඒකට හල්කිරීමක් දාගත්ත ඩෑල් එකක් ඉන්නවයි කියල දැනගත්තේ ඉස්කෝලෙ පහ වසරත් පාස් වුණාට පස්සේ ය. ඒ දන්නෙත් "ආ අර රඟහල කාපු එකා" කියන කාඩ් එකෙන් ය. ඒ කාලේ ටීවී චැනල්වල විචාරකයන් සහ ප්‍රබුද්ධයන් සෙට්වෙලා සංගීත්ව පතුරු ගහපු හැටි තාම මතකයි ය. (පරණ කුණු ඇවිස්සුවාට හීනියට සමාවක් දෙන්ටැයි ඉල්ලනවා ය. 🙏)
—
අයියාත් තාත්තාත් හින්දි සින්දු ඔස්තාර්ලා උණාට, මට ගොඩක් කාලයක් යනකන් සංගීත "උණ" හැදුණේ නැත. (හය හත වසරවලදී ලාවට ඇඟ රත් වීගෙන ආවත්, ඉස්කෝලේ ගායන තරගයකදී කිච වෙලා සාටර් වෙලා ගිය කල්හි ඒක සුරුස් ගා බැස ගියේ ය.) එහෙම හිටපු එකා ඉයර්පෝන් හොය හොයා පරණ සෙල්පෝන් පෙට්ටි අවුස්සන තත්ත්වයට පත් වුණේ සංගීත් හැදූ "වායෝ" නිසා ය. ඒකත් හරි අපූරු කතාවක් ය.
ඔන්න ඉතිං පෙරුම් පුරාගෙන කැම්පස් ගොහින්, (මොරටුව ඊ-ෆැක්) සෙමෙස්තරය ගොඩ දාන්න ඇක දාන (පාඩං කරන) දවස් ය. (ඔව් ඔව්. එක්සෑම් කට උඩ ය.) අපි **
ඉරාගෙන ඇක දාන අතරෙ, කලින් ම ගොඩ දාගෙන හිටපු වික්කා කියල ඩෑල් එකකුත් අප අතරේ හිටියා ය. දවසක් මූ, "ඇක දාල මහන්සි කට්ටිය අහල බලන්න මේ සින්දුව" කියලා (කින්ඩියට ද මන්දා 🤔) බුකියේ පෝස්ට් එකක් දැම්මා ය.
දාලා තිබුණේ "වායෝ"ගේ "අපි කවුරු ද" සින්දුව ය.
ඉස්කෝලේ බුද්ධාගම පාඩමෙනුයි දහම් පාසලෙනුයි ඇහුවට පස්සේ "වායෝ" කියන වචනය ඇහුවේ එදා ය. වෙන විදිහකට කීවොත්, වායෝ කියා සංගීත කණ්ඩායමක් ඉන්නවා කියලා හාංකවිසියක් දැන ගත්තේ එදා ය. 😊
පළවෙනි පාර ඇහුවට ලොකු සීන් එකක් දැනුණේ නැත. "සෝක් සින්දුව" කියලා ආපහු ඇක දාන්න ගියා ය. (ඒ කාලෙත් මං හෙන ම ඇකයා ය.)
දෙවෙනි පාර අහද්දි නම් සිංදුවේ මොකක්හරි අමුතු ලල් එකක් තිබේ ය කියලා තේරුණා ය.
තුං වෙනි පාර අහල ඉවර වෙද්දි නම්, පිස්සුව ඔලුවට ම වැදී ඉවර ය.
එදා ඉඳං, උදේ ඉඳං හවස් වෙනකං ඉයර්පෝනය කනේ ගහන් "අපි කවුරු ද" අහන තත්ත්වෙට මං පත් වුණා ය. මේ වෙනකොට ලොවෙත් දහදාස් පාරකට වැඩිය සින්දුව අහලා තිබෙනවා ය. (දැනුත් සතියකට පාරක්වත් නොවරදවා ම අහන්න ඕනෑ ය. කුඩු සික් එකට වඩා පොඩ්ඩයි අඩු ය. — අපොයි අපොයි 🙏 සංගීත් අයියෙ, මා කුඩු ගසනවා කියා එයින් අදහස් කළේ නැත.)
සේනක බටගොඩ මහත්මාගේ පද මාලාව, ලහිරුගේ මියුසික් අවන් එකේ පදමට බේක් කර, සංගීත්, ෂේන් ප්‍රමුඛ වායෝ කල්ලිය රහට පදමට ගයනවා අහද්දි ලෝකෙ තියෙන ප්‍රස්න ඔක්කොම සිං ගා අමතක වෙනවා ය. (බටගොඩ මහත්මාගේ මුල් ගායනයත් මෙහි දී සිහි කිරීමට කැමැත්තෙමි. 🙏)
—
ඊට පස්සෙත් එහෙන් මෙහෙන් වායෝගේ පට්ට සින්දු ටිකක් අහන්න ලැබුණේ ය. මං එහෙම හොය හොයා සින්දු අහන කෙනෙක් නොවෙන නිසා මට ලැබුණේ "අපි සැනසිල්ලේ", "ගෙම්බෝ", "සිහින මවන්නැති" (බටගොඩයන්ගේ) වගේ කීපයක් විතර ය. හැබැයි ඇත්ත ම කිවුවොත් "අපි කවුරු ද" වගේ බොක්කට වදින සින්දුවක් නම් ආයෙ වායෝගෙන් තියා කාගෙන්වත් සෙට් වුණේ නැත.
කාලය ඔහොම ගත වී ගියේ ය. පත්තරවල "වායෝ පිපිරෙයි", "වායෝ දෙදරයි" වගේ සිරස්තල දැක්කත් ලොකුවට හොයන්නට කියවන්නට ගියේ නැත.
—
පසුකාලීන ව එක එක දේවල් සිද්ද වෙලා, දුක වාවනු බැරි හින්දා කට වහගෙන ඉකිබිඳිමින් ඉන්න දවසක, කටුබැද්ද හන්දියේ කලර් ලයිට් එක ළඟදී "වායෝ" බැනර් එකක් දැක්කා ය. මුලින් "අනාතයෝ" වගේ පෙනුණත් 🧐, ඇස් දෙක එහෙම පිහදාලා හොඳට බලද්දි, "වායෝ" නමට යටින් ලියලා තියෙන්නේ "අනාගතයේ" කියලා බව තේරුණා ය.
මේ අමුතු අබ්බූත බූත අකුරින් ලියා තියෙන "අනාගතයේ" සීන් එක මොකද්ද කියලා ගූගල් පාරක් දාල බලද්දි, අවුරුද්දකටත් කලින් රිලීස් උණ සින්දුවක් මතු වුණේ ය. සිරාවට ම ඊට කලින් එක පාරක්වත් එහෙම සින්දුවක නමක්වත් අහලා තිබුණේ නැත. (එහෙව් මට, වායෝ ෆෑන් කෙනෙක් කියලා කෝචොක් නොකරන මෙන් කාරුණික ව ඉල්ලා සිටිමි. 🙏)
ඒ පාර නම් සින්දුව අහපු ගමන් ම ඔලුව මඤ්ඤං වී, උන්හිටි තැන් අමතක වෙන ගානට ගියේ ය. සින්දුව බොක්කට වැදී බොක්ක හාරාගෙන ගැඹුරට ම ගියේ ය. 😳
ඒ මදිවාට, අන්තිම කෑල්ලේ pitch shift එක අහනකොට, සියොලඟ මවිල් කෙලින් වී, කකුල් දෙකෙන් අල්ලා පරසක්වල ගැහුවා වගේ උණේ ය. එහෙම සින්දුවක් ආයේ කවදා අහන්න ලැබේ ද කියා නොදන්නේ ය.
සනුක/සංගීත් පද මාලාවේත්, සනුකගේ මෙලඩියේත්, වායෝ ගැං එකේ ගායනයේත් සුසංයෝගය ඒ තරමට ආතල් ය. කික් ය. සුපිරි ය. 🤩
පොළෝ තලයේ අනාගතයේ මිනිසා මා බව සහසුද්දෙන් ම දැනගත්තේ එදා ය.
"අපි කවුරු ද" දෙවෙනි තැනට වැටී, "අනාගතයේ" සෙනිකව ප්ලේ ලිස්ට් එකේ මුලට ම ආවේ ය.
—
එදා ඉඳං හැබැහින් වායෝ සෙට් එක දකින්නත්, අහන්නත්, "අනාගතයේ" ෂෝ එකක් බලන්න යන්න හිතං හිටියට, එක එක හේතු නිසා වැඩේ මගෑරුණේ ය. (අවංකව ම කිවුවොත්, වැඩි හරියක් මගෑරුණේ කම්මැලිකමට ය. කවදාවත් මියුසිකල්ලෙකක් බලන්න ගිහිං නැති, යන්න හිතුවෙත් නැති මා හට එහෙම වෙන එක, එක අතකින් සාදාරණ ය.)
ඔපිසියේ සොහොයුරියකගේ ඉල්ලීමකට, අයිටී ෆැක් "අත්වැල"ට සපෝට් එකට "වීණාවී 2019" ටිකට්ටුවක් ගත්තෙමි. ඒත් යනවා ද කියා සුවර් එකක් තිබ්බේ නැත. හවසට හවසට සුරු සුරු ගගා වහින දවසුත් නොවැ. අන්තිමට හිත හදාගෙන, කුඩයත් අතින් අරගෙන - නෑ, ඉහලාගෙන - බෝඩිමෙන් එලියට බැස්සෙමි.
මග දිගටත් බුකිය බල බලා ආවේ, "postponed due to bad weather" කියන (අ)සුබාරංචිය කොයි වෙලේ හරි වැටෙයි ද කියලා හිතමිනි. (ඔව්, මොරටු කොල්ලෙක් ලෙස මං මා ගැන ම ලැජ්ජා විය යුතු යැ.)
—
තුම්මුල්ලේ ඉඳං පයින් ම විහාරමහාදේවියට එද්දිත් සර සර වැස්ස ය. එතකොටත් සීයක් විතර සෙට්වෙලා කුඩ ඉහලං බලා සිටිති. මේ වැස්සෙ කොහොම ෂෝ එකක් කරන්න ද?
(හා හා, කවදාවත් නැතුව මූ ගිය හින්ද තමයි ඊයෙ වැහැල වැහැල කුජීත වුණේ කියලා කුපිත නොවෙන ලෙස කාරුණික ව ඉල්ලා සිටිමි. 🙏)
කොහොම හරි වැඩේ පටන් ගත්තේ ය. එතකොටත් වැස්ස ය. කොල්ලො කෙල්ලෝ, පුටු වහල තිබුණ පොලිතින් කොළ බිම එලාගෙන, කුඩ යට තුරුලු වී සැදී පැහැදී සිටිති. ටිකක් වැඩිපුර සපෝට් එක දී තිබූ නිසා මාත් කුඩේ ඉහලං පුටුවකට හේත්තු වීමි.
හුරුපුරුදු ගිටාර් රිද්මයක් ඇහෙන්ට විය.
අම්මටසිරි, අනාගතයේ! 🙌
එහෙම සුපිරියට පටන් ගත් ගී මියැසිය, වරුසාව මැද නොසැලී ගලා ගියේ ය. කුඩේ යට සීතලට තුරුලු වෙන්න කෙනෙක් නොහිටියත් ලොකු පාලුවක් දැනුණේ නැත. වායෝ ෆැමිලි එකත් එක්ක අපි හැමෝ ම එකා වගේ වලා අතරේ පියාඹමින් සිටි නිසා විය යුතු ය.
සංගීත් අයියා උඩ පැන පැන ඇඹරි ඇඹරි දුව දුවා නට නටා ජෝක් දම දමා මයික් අල්ල අල්ලා ස්පීකර උඩ නැගගෙන රඟපු රැඟුමට, වායෝ සෙට් එක ම සංගීතයෙන් ගායනයෙන් පට්ට සහයක් දුන්නා ය. කැම්පස් අවුට් වෙලා සිවු වසරකට කිට්ටු උණත්, ඊයේ නං දැනුණේ ගිය මාසෙ කැම්පස් ආවා වාගේ ය.
නදීමාල්ගේ නුරා වසන්තේත්, චිත්‍රාල්ගේ නදී ගංගාත්, ධනිත්ගේ සඳගනාවත්, වායෝගේ අනාගතයත් එක් වූ තැන... තව මොන කතා ද? 🤘
කස්ටිය හුරේ දැමුවෝය. වන්මෝ ගෑවෝය. නැටුවෝය. ගැයුවෝය. ෆ්ලෑෂර් වැනුවෝය. ඒ සේරම, මහ වරුසා මැද්දේ ය.
—
සංගීත් අයියා කියපු විදිහට, මීට කලින් මෙහෙම වරුසාවක් මැද වායෝ ෂෝ එකක් කර නැත. ඇත්ත වුණත් බොරු වුණත්, ලයිටින්, සවුන්ඩ්ස්, පවර් ඔක්කොම මහ වැස්සේ තෙමෙද්දි, දුප්පත්කමට එරෙහිව සටන් කරන මොරටුව අයිටී ෆැක් එකට සවියක් වෙන්න වායෝ ගත් ඒ තීරණයට අපි හැමෝම හිස නමා ආචාර කළ යුතු ය. 🙇
ඒ එක්ක ම, "මට නං තව තෙමෙන්න දෙයක් නෑ බං" කියමින් ම, මහ වැස්සෙ කඩිගුලක් වගේ එහෙමෙහෙ දුව දුවා හැම දේම තිතට සංවිධානය කරපු අයිටී ෆැක් සෙට් එකටත් හිස නමා ආචාර කළ යුතු ය. 🙇
කනට විතරක් නොව හිතටත් වදින දෙයක් කළ ඒ හැමෝටමත්, වැස්සට කොකා පෙන්නා අවසන් මොහොත වෙනකං නොබිඳුණ ආතල් එකක් පවත්වාගත් (මා ඇතුළු) ප්‍රේක්ෂක සැමටත් නැවතත් ආචාර කරමි. 🙇
(ෂෝ එක ඉවර වෙලා, යන්න බස් නැතුව විහාරමහාදේවියෙ ඉඳන් තට්ට තනියමේ වැස්සේ පයිං ම ගල්කිස්සට ගිය එක වෙන ම ආතල් එකකි. සමහර විට මතු සම්බන්දයි වනු ඇත. ✍️)
—
බුකියේ Wayo Official Fan Club එකේ (අවාසනාවට public නැති) පෝස්ටුවක කොටසකින් මේ ඇඬියාව අවසන් කරන්ට සිතුවෙමි. (පූර්ණ අයිතිය, කර්තෘ Gagana Atapattu හට ය.)
ටිකක් හිතුවද තමන් කන ටොපි කොලේ, තමන් බොන සිගරැට් කොටේ ඉදන් දාන්නෙ එයාල මේ හදන්න හදන ලෝකේ උඩ කියලා?
නෑ.
නෝනා සතියෙ අන්තිමට කුණු බෑග් එක හංගලා දාලා එන්න කියල මහත්තයට කියද්දි හිතුනද ඒ කුණු දාලා නැති කලේ එයාගෙම ළමයට ඉන්න පොළොවක් කියලා.
...
"අපිම නේද බන් හිනා වෙන්නේ? අපිමයි නේද නිදහසේ ඉන්නේ ?
ඉතින් අපි නිදහසේ ඉදන් ඉස්සරහට ලෝකයක් මැව්වට වැඩක් නෑ.
සල්ලි පොදි ගැහුවට වැඩක් නෑ
ලොකු ලොකු ස්කෝල වලට දැම්මට වැඩක් නෑ.
ඉන්න පොළොවක් නැත්තන්"
මේ ඔහුගේ වදන් වලින්.
ටිකක්. ටිකම ටිකක් හිතමු.
කෝ නවලෝකයක් දකිනවුන්ට අනාගතයක් ?
අපමණ දුක් ඇති වින්දා
රැකගමු මරු ගෙල සින්දා
හෙට ඇස් අරින බිලින්දා
මනුසතුනේ
නොනිම් කතරේ පහන් තරුවෙන්
එතෙර වෙන්නේ
පොළෝ තලයේ ඔබයි මිනිසා
අනාගතයේ...
—
(ආතල් එක උදෙසා අක්ෂර වින්‍යාස හා ව්‍යාකරණ රීති අමු අමුවේ උල්ලංඝනය කිරීම වෙනුවෙන්, මට සිංහල උගැන්වූ ගුරු මෑණිවරුන්ගෙන් පියවරුන්ගෙන් පටන් ගෙන සියලු දෙවි දේවතාවුන් දක්වා සැම දෙනාගෙන් ම සමාව භජනය කරනු කැමැත්තෙමි. 🙏)
No comments:
Post a Comment
Thanks for commenting! But if you sound spammy, I will hunt you down, kill you, and dance on your grave!